නේපාලයෙහි ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බව දේශ කටයුතු හා වෙළෙඳ සහකාර අමාත්‍ය Matt Thistlethwaite තහවුරු කරනවා. අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජය විසින් නේපාලය වෙත තවත් ඩොලර් මිලියන 3ක සහනාධාර සහ අතිරේක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් යැවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, පස්වලට යටවූ ජල විදුලි බලාගාරයක් තුළ සිරවී සිටින සේවකයින් 40කට වැඩි පිරිසක් මුදාගැනීමේ විශේෂ මෙහෙයුමක් සඳහා ප්‍රකට ඕස්ට්‍රේලියානු භූ විද්‍යාඥ Arnold Dix එක්ව සිටිනවා. 2023 වසරේ ඉන්දියාවේ උමගක සිරවූ සේවකයින් මුදාගැනීමට නායකත්වය දුන් ඔහු, මෙවරද බලාගාරයේ උමං මාර්ගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, උමං මාර්ගය පස් සහ ගල්වලින් වැසී පැවතීමත්, සන්නිවේදන බාධා සහ පවතින අයහපත් කාලගුණයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සමස්ත නේපාලය පුරාම පුද්ගලයින් 1000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති අතර, ජීවිත ආරක්ෂිතව මුදාගැනීමේ අරමුණින් සහන කණ්ඩායම් පැය 24 පුරාම මෙහෙයුම්වල නිරතව සිටිනවා.



