ඉදිරියට එළඹෙන ලැව්ගිනි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා NSW හි ලැව්ගිනි අවදානම අඩු කිරීමේ කටයුතු වේගවත් කර ඇති බව NSW Rural Fire Service ආයතනය පවසනවා.

El Niño තත්ත්වයත් සමඟ මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි උෂ්ණත්වයක් සහ අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි බලධාරීන් පවසන්නේ. NSW Rural Fire Service හි කොමසාරිස්  Trent Curtin සඳහන් කළේ, පසුගිය වසරට වඩා 21% කින් ගිනි අවදානම අවම කිරීමේ කටයුතු.කටයුතු ඉහළ නැංවීමට හැකි වූ අතර, ඒ යටතේ NSW පුරා හෙක්ටයාර් 124,000 ක භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඉදිරි කාලගුණ තත්ත්වය දැඩි අවදානම් සහගත බැවින් Fire & Rescue NSW, National Parks and Wildlife Service ඇතුළු රාජ්‍ය ආයතන 15 කට වැඩි සංඛ්‍යාවක සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. එහිදී හදිසි සේවා අමාත්‍ය වන Jihad Dib සහ පරිසර අමාත්‍ය වන Penny Sharpe අවධාරණය කළේ, උතුරු අර්ධගෝලයේ දැනට පවතින ලැව්ගිනි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි ග්‍රීෂ්ම සෘතුවට උපරිමයෙන් සූදානම් වන බවයි.

ඔක්තෝබර් 1 වන දා සිට NSW හි බොහෝ ප්‍රදේශවලට ලැව්ගිනි අවදානම් කාලසීමාව ආරම්භ වන අතර, නාගරික සහ ග්‍රාමීය වැසියන්ට තම නිවාස හා ඉඩම් අවට පිරිසිදු කර ලැව්ගිනි අවදානම අඩු කරගනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය සහ බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.