ලඟ එන ග්‍රීෂ්ම ඍතුවත් සමග නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ පිහිනුම්කරුවන් සහ Surfing ක්‍රීඩකයින් මුහුදු මෝරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදවා කෙරෙන නිරීක්ෂණ කටයුතු ඉහළ නංවා තිබෙනවා.
ඩොලර් මිලියන 120ක වැඩසටහනක් යටතේ නිව් සවුත් වේල්ස් හි වෙරළ තීරයන් 97ක් ආවරණය වන පරිදි ඩ්‍රෝන යානා 73ක් සේවයේ යෙදවීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය Tara Moriarty සඳහන් කළේ. මේ මගින් මුහුදු මෝරුන්ගේ සංචරණය පිළිබඳ සජීවී තොරතුරු ජනතාවට ලබාදීමට හැකිවන බව ඇය ප්‍රකාශ කළා. ඩ්‍රෝන තාක්ෂණයට අමතරව Newcastle සහ Wollongong අතර ප්‍රදේශයේ ආරක්ෂිත දැල් (Shark nets) 51ක්ද යෙදවීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, Sydney ආසන්න මුහුදේ Great White Sharks (සුදු මෝරුන්ගේ) වරල්වල කැමරා සවිකර සිදුකළ විශේෂ පර්යේෂණයකින් ඔවුන්ගේ ආහාර රටාවන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පර්යේෂකයෙකු වන Adrienne Gooden පෙන්වා දෙන්නේ සුදු මෝරුන් තමන් ලබාගන්නා ආහාර පිළිබඳව ඉතා තෝරාබේරා ගැනීමක් සිදුකරන බවත්, පැය 70ක පටිගත කිරීම් තුළ ඔවුන් වෙනත් සතුන් දඩයම් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බවත්ය. එමෙන්ම මෙම මෝරුන් බොහෝවිට වෙරළේ සිට කිලෝමීටර 15ක් පමණ ඈතින් සංචරණය වන බවද එම පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.



