New South Wales ප්රාන්තයේ සංවිධානාත්මක අපරාධ නීති දැඩි කරමින්, මිනීමැරුම් කුමන්ත්රණවල නිරතවන ප්රධාන සැලසුම්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට හැකිවන පරිදි අලුත් පනතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා. යම් මිනීමැරුමක් ක්රියාත්මක නොවුණද, ඒ සඳහා කුමන්ත්රණය කිරීම හෝ තැත් කිරීම පවා මෙම දැඩි දඬුවමට යටත් වන බවයි වාර්තා වන්නේ.
Sydney හි මෑතකදී ඉහළ ගිය සංවිධානාත්මක අපරාධ සහ වරදවා වටහාගෙන සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් මියයාම හමුවේ මෙම පියවර ගෙන තිබෙනවා. නව යෝජනාවලට අනුව, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් හෝ බෝම්බ ප්රහාරවලට සම්බන්ධ වන බාලවයස්කරුවන්ටද වැඩිහිටියන් ලෙස සැලකීමටත්, උසස් අධිකරණ හමුවේ නඩු පවරා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටත් අවස්ථාව ලැබෙනවා.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා ඩිජිටල් තාක්ෂණය සහ සංකේතනය කළ (encrypted) මෙවලම් භාවිතා කිරීම වැළැක්වීමට සහ ඒවා පරීක්ෂා කිරීම සඳහා පොලිසිය වෙත ඩොලර් මිලියන 15 ක අමතර ප්රතිපාදන වෙන්කිරීමටද New South Wales රජය තීරණය කර තිබෙනවා.



