Bondi Beach හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව NSW ප්‍රාන්තය තුළ ගිනිඅවි ආපසු ලබාගැනීමේ විශාල වැඩසටහනක් ආරම්භ කිරීමට Commonwealth සහ NSW ආණ්ඩුව එකඟතාවකට පැමිණ තිබෙනවා. ජාතික කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර ඇති පරිදි anti-Semitism ප්‍රහාර වැළැක්වීම සහ රට පුරා ගිනිඅවි භාවිතය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම නීතිමය වෙනස්කම් අනුව, එක් අයෙකුට ළඟ තබා ගත හැකි ගිනිඅවි ගණන සීමා කර ඇති අතර බලපත්‍ර කාලය වසර 5 සිට වසර 2 දක්වා අඩු කර තිබෙනවා. ඒ අනුව, නව සීමාවන්ට වඩා වැඩිපුර ඇති ගිනිඅවි රජයට භාරදීමේදී එක් ගිනිඅවියක් සඳහා $10,000 දක්වා වන්දියක් ලබාදීමට නියමිතයි.

NSW හි දැනට ලියාපදිංචි ගිනිඅවිවලින් 24%ක් පමණ, එනම් ගිනිඅවි 274,000ක් සහ බලපත්‍රලාභීන් 50,000ක් පමණ මෙම නව සීමාවන්ට යටත් වන බව සඳහන්. මෙහි පරිපාලන පිරිවැයෙන් 50%ක් Commonwealth රජය විසින් දරන අතර භාරදෙන ගිනිඅවි විනාශ කිරීමේ සම්පූර්ණ පිරිවැයද ඔවුන් විසින් භාරගනු ලබනවා.

සමාජයෙන් මෙවැනි ගිනිඅවි ඉවත් කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව අගමැති Anthony Albanese සහ NSW බලධාරීන් පවසනවා.