NSW හි Terrigal වෙරළබඩ නගරයේ සිදුවූ පිහි ඇනුමකින් 15 හැවිරිදි තරුණයෙකු බරපතල තත්ත්වයෙන් Gosford Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රී 9.45 ට පමණ Painters Lane ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, තුවාල ලැබූ තරුණයා උපකාර පතා අසල වූ නිවසකට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී අදාළ නිවෙස් හිමියා විසින් වහාම ක්‍රියාත්මක වී Triple-0 අංකය ඔස්සේ හදිසි ඇමතුම් අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Brisbane Water Police District පොලිසිය සඳහන් කරන්නේ අදාළ තරුණයා තවත් පිරිසක් සමග සිටින අතරතුර මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ සිටි තරුණයින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය වූ ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් හෝ Dashcam / Mobile Phone දර්ශන පවතින්නේ නම් Gosford පොලිස් ස්ථානය වෙත හෝ 1800 333 000 අංකය ඔස්සේ Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.