Western Australia ප්‍රාන්තයේ Secret Harbour ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් One Nation පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ Luke Herdegen, Western Australia පහළ මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් වූ පළමු One Nation නියෝජිතයා බවට පත්වනවා.

මෙම ජයග්‍රහණයත් සමග Labor පක්ෂයේ බලකොටුවක් ලෙස පැවති Secret Harbour ආසනය ඔවුන්ට අහිමි වී ඇති අතර, මෙය Labor පක්ෂයට පමණක් නොව Liberal පක්ෂයටද එල්ල වූ දැඩි ප්‍රහාරයක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. අගමැති Anthony Albanese ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙමගින් දැඩි දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා.

ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ Pauline Hanson සඳහන් කළේ, Liberal පක්ෂයට සිදුකළ නොහැකි වූ අභියෝගය Labor පක්ෂයට එල්ල කිරීමට One Nation පක්ෂයට හැකි වූ බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව තුළ තවදුරටත් කිසිදු පක්ෂයකට "ආරක්ෂිත ආසන" නොමැති බවද ඇය අවධාරණය කළා.

මෙම අතුරු මැතිවරණයේදී Labor පක්ෂයේ ඡන්ද පදනම විශාල ලෙස පසුබැසීමට ලක්වූ අතර, Liberal පක්ෂය තෙවැනි ස්ථානයට ඇද වැටුණා. ජීවන වියදම ඉහළ යාම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව ප්‍රධාන පක්ෂ කෙරෙහි පැවති විශ්වාසය බිඳී යාම මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ Secret Harbour හි සිදුවූ මෙම දේශපාලන පෙරළිය Victoria ප්‍රාන්තයේ Labor පක්ෂයේ ඉදිරි පැවැත්මටද දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.