ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි පවතින කළකිරීම හමුවේ, මෙරට වෙසෙන ඇතැම් සංක්‍රමණිකයන් Pauline Hanson ගේ One Nation පක්ෂය වෙත යොමු වෙමින් පවතින බව වාර්තා වනවා.
ජීවන වියදම සහ නිවාස අර්බුදය හමුවේ විදේශිකයින් පැමිණීම සීමා කිරීමට One Nation පක්ෂය ගෙන ඇති තීරණයට India, China සහ Philippines වැනි රටවලින් පැමිණි ඇතැම් සංක්‍රමණිකයින්ගේ සහය හිමිව තිබෙනවා. කෙසේ වෙතත්, Pauline Hanson මෑතකදී කළ 'තනි සංස්කෘතියක්' පිළිබඳ ප්‍රකාශ සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ජාතිවාදී අදහස් හමුවේ බොහෝ සංක්‍රමණිකයින් තවමත් පක්ෂය කෙරෙහි පසුවන්නේ සැකයෙන්.
මේ අතර Federation of Ethnic Communities' Councils (FECCA) හි ප්‍රධාන විධායක Prerana Mehta සඳහන් කරන්නේ, රටේ පවතින සංකීර්ණ ගැටලුවලට සංක්‍රමණිකයින් පිට වරද පැටවීමෙන් සිදුවන්නේ සමාජය තවදුරටත් බෙදී යාම පමණක් බවයි.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයින්ගේ ඡන්ද දිනාගැනීමට One Nation පක්ෂය උත්සාහ කළද, පක්ෂයේ අන්තවාදී ජාතිවාදී මතවාද හේතුවෙන් බහුතරයක් සංක්‍රමණිකයින් තවමත් ඔවුන්ව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.



