මුස්ලිම්වරුන් පිළිබඳ One Nation පක්ෂයේ නායිකා Pauline Hanson කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පැවති විමර්ශනය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවසන් කර තිබෙනවා.
මෙම වසර මුලදී Pauline Hanson කළ මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් AFP වෙත පැමිණිලි රැසක් ලැබී තිබූ අතර, ඒ අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණා.
AFP මාධ්‍ය ප්‍රකාශිකාවක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ, අදාළ ප්‍රකාශ කිසිදු අපරාධ වරදක් ලෙස සැලකීමට අවශ්‍ය නීතිමය නිර්ණායක සපුරාලන්නේ නැති බවට තීරණය කළ බැවින්, එම විමර්ශනය අවසන් කළ බවයි.
"2026 පෙබරවාරි මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විසින් සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් AFP වෙත ලැබුණා. ඒවා 'යුදෙව් විරෝධය, වෛරය සහ අන්තවාදය මැඩපැවැත්වීම, අපරාධ සහ සංක්‍රමණ නීති පනත - 2026' ඇතුළු අදාළ නීති යටතේ වරදක් ලෙස සැලකීමට අවශ්‍ය නිර්ණායක සපුරාලන්නේ නැහැ. ඒ නිසා මෙම කාරණය අවසන් කර තිබෙනවා," යනුවෙන් AFP මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළා.
මැයි මාසයේදීත් මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව AFP තහවුරු කර තිබුණත්, මේ වන විට එය නිල වශයෙන් අවසන් කර තිබෙනවා.
මෙම සිදුවීම ආරම්භ වූයේ 2026 පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Pauline Hanson, "හොඳ මුස්ලිම්වරුන් සිටින බව මට කියන්නේ කොහොමද?" යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.
එහිදී ඇය, "අන්තවාදී ඉස්ලාම් දහම ගැන මට කිසිම කැමැත්තක් නැහැ. ඔවුන්ගේ ආගම ගැන මට ගැටලුවක් තිබෙනවා. කුරානයේ සඳහන් වන පරිදි ඔවුන් බටහිර ජාතිකයන්ට වෛර කරනවා," යනුවෙන්ද ප්‍රකාශ කළා.
එමෙන්ම, "හොඳ මුස්ලිම්වරුන් සිටිනවා කියනවා. නමුත් හොඳ මුස්ලිම්වරුන් කවුද කියලා මට දැනගන්නේ කොහොමද?" යනුවෙන්ද ඇය ප්‍රශ්න කළාය.
ඉන් අනතුරුව, හොඳ මුස්ලිම්වරුන් නොමැති බවට ඇය ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ දැඩි දේශපාලන විවේචන එල්ල වුණා.
කෙසේ වෙතත්, දින කිහිපයකට පසුව Pauline Hanson පැවසුවේ හොඳ මුස්ලිම්වරුන් සිටින බව තමන් පිළිගන්නා බවත්, තමන්ගේ විරෝධය අන්තවාදී ඉස්ලාම් දහමට සහ අන්තවාදයට පමණක් බවත්ය.
එහිදී ඇය සඳහන් කළේ, "ෂරියා නීතිය, කාන්තා ලිංගික අවයව ඡේදනය කිරීම සහ ළමා විවාහවලට සහාය නොදක්වන, ඒ වෙනුවට අපගේ සංස්කෘතියට, ජීවන රටාවට සහ නීතිවලට ගරු කරන මුස්ලිම් පුද්ගලයෙකුට මගේ ප්‍රකාශයෙන් සිත් රිදී ඇත්නම් ඒ ගැන මම සමාව ඉල්ලා සිටිනවා," යනුවෙනි.
එවකට අග්‍රාමාත්‍ය Anthony Albanese එම ප්‍රකාශ "අපකීර්තිමත්" සහ "ජනතාව අතර බෙදීම් ඇති කිරීම පමණක් අරමුණු කරගත්" අදහස් ලෙස විස්තර කළා.
තම රජය සම්මත කළ වෛරී ප්‍රකාශ සම්බන්ධ නීතිවලට එම අදහස් පටහැනි විය හැකිදැයි විමසූ අවස්ථාවේදී, ඒ පිළිබඳ අදහස් දැක්වීම Anthony Albanese ප්‍රතික්ෂේප කළා.
"මම නීතිඥයෙක් නොවෙමි. ඒ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේත් මම නොවෙමි. ඒ කටයුතු අදාළ බලධාරීන්ට භාර දෙනවා," යනුවෙන් ඔහු පැවසුවා.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය Penny Wong විසින් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ දෝෂාරෝපණ යෝජනාවක්ද සම්මත වුණා.
එම යෝජනාවෙන් Pauline Hanson ට එරෙහිව "මුස්ලිම් ඕස්ට්‍රේලියානුවන් අපකීර්තියට පත් කරන, ප්‍රකෝපකාරී සහ බෙදීම් ඇති කරන ප්‍රකාශ" සිදු කළ බවට නිල වශයෙන් දෝෂාරෝපණය කර තිබුණා.
මේ අතර, Greens පක්ෂයේ සෙනෙට් සභික Mhreen Faruqi ට එරෙහිව ජාතිවාදී අපහාසයක් කළ බවට වූ නඩුවේදී Pauline Hanson ගොනු කළ අභියාචනයත් පසුගිය සඳුදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
විනිසුරු Melissa Perry විසින් 2024දී ලබාදුන් තීන්දුව තහවුරු කරමින්, Pauline Hanson විසින් ජාතිවාදී වෙනස්කම් කිරීමේ පනතේ හි 18C වගන්තිය උල්ලංඝනය කර ඇති බව අධිකරණය නැවතත් තහවුරු කළා.
මෙම නඩුව ගොඩනැගුණේ 2022දී Pauline Hanson සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් සම්බන්ධයෙන් වන අතර, එහිදී ඇය Mehreen Faruqi ට "Pakistan වලටම ආපසු යන්න" යන අර්ථය ඇති ප්‍රකාශයක් කර තිබුණා.
අධිකරණ තීන්දුවෙන් පසුව Pauline Hanson ප්‍රකාශ කළේ, තම අභියාචනය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කනගාටු වන බවත්, ඉදිරි දින කිහිපය තුළ තම නීති කණ්ඩායම සමඟ එක්ව තීන්දුව සමාලෝචනය කරඕස්ට්‍රේලියාවේ High Court වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව සලකා බලන බවත්ය



