One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පවසන්නේ, සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීම හමුවේ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලට පාඩුවක් සිදු වුවද තමාට ඒ පිළිබඳව හැඟීමක් නොමැති බවයි. skilled migration වැඩසටහන් සීමා කිරීම හරහා ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අර්බුදයට යා හැකි බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

තමාගේ එකම අවධානය තම රටට හිසට සෙවණක් සහ යහපත් ජීවන තත්ත්වයක් අහිමි වී ඇති ඕස්ට්‍රේලියානු වැසියන් පිළිබඳව පමණක් බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ. වසරකට ලබාදෙන permanent migration සීමාව 130,000 දක්වා අඩු කිරීම One Nation පක්ෂයේ සැලසුම වන අතර, එමගින් අධික ලෙස සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කර රටට සහනයක් ලබාදිය හැකි බව ඇය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන්, හෙදියන් සහ ඉංජිනේරුවන් වැනි රටට අත්‍යවශ්‍ය වෘත්තිකයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමටත්, සංචාරක වීසා මත පැමිණෙන පුද්ගලයන්ට සහ කෙටි කාලීන ශ්‍රමිකයන් සඳහා මෙම සීමාවන් බලපාන්නේ නැති බවටත් Pauline Hanson වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.