Pauline Hanson ගේ One Nation පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ යාමට සහ තීව්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාදයන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව පුරා සිසුන් දහස් ගණනක් පාසල් වර්ජනය කරමින් විරෝධතාවලට එක්ව තිබෙනවා.

"Say No to Hanson" නමින් ප්‍රධාන නගර රැසක සංවිධානය කර තිබූ මෙම විරෝධතාවලට එක්වූ පාසල් දරුවන් සඳහන් කළේ, තමන් ජාතිවාදයට එරෙහිව මෙලෙස හඬ නගන බවයි. Greens පක්ෂයේ සෙනෙට් මන්ත්‍රී Mehreen Faruqi ද මෙම විරෝධතාවලට සිය සහය පළ කර තිබුණා.

කෙසේවෙතත් මෙම විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් Pauline Hanson සඳහන් කළේ, පාසල් විසින් ළමයින්ට සිතිය යුත්තේ "කුමක්ද" යන්න නොව සිතිය යුත්තේ "කෙසේද" යන්න උගන්විය යුතු බවයි. එමෙන්ම ජීවන වියදම ඉහළ යාම සහ දරුවන්ගේ අනාගතය අඳුරු කරන රජයේ ක්‍රියාකලාපයන්ට එරෙහිව හඬ නැගිය යුතු බවත්, තමන් සටන් කරන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.