2020 වසරේ NSW හි අතිප්‍රබල "Black Summer" ලැව්ගිනි පැවැති සමයේ ජනතාවට තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිට වූ Narooma හි පිහිටි පොදු දුරකථන කුටියක් (pay phone) ජාතික උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් විදුලිය සහ ජංගම දුරකථන සංඥා බිඳවැටී තිබූ අවස්ථාවේ, Narooma Plaza ඉදිරිපිට Princes Highway හි පිහිටි මෙම පොදු දුරකථනය ඉදිරිපිට ජනතාව පෝලිම් ගැසී තම ඥාතීන්ගේ සුවදුක් විමසා සිටියා. මාස දෙකක් ඇතුළත මෙම දුරකථනයෙන් ඇමතුම් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර, එකල ඉටුකළ අනර්ඝ සමාජීය සහ සංස්කෘතික මෙහෙවර අගය කරමින් National Trust of Australia NSW ආයතනය විසින් මෙලෙස එය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව පුරා පවතින මෙවැනි පොදු දුරකථන 14,000ක් නඩත්තු කිරීමට Telstra සමාගම කටයුතු කරන අතර, හදිසි අවස්ථාවලදී සහ ආපදා සමයන්හිදී මෙම දුරකථන කුටි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.