Victoria ප්‍රාන්තයේ Phillip Island හිදී කුරුළු උණ වැළඳීමෙන් මියගිය ප්‍රථම Penguin පක්ෂියා හඳුනාගත් බව ඕස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කරනවා. Victoria හි පක්ෂීන් අතරින් වාර්තා වූ H5 Avian Influenza නව ආසාදිතයින් තිදෙනාගෙන් එක් අයෙකු ලෙසයි මෙම Penguin පක්ෂියා සටහන් වන්නේ.
මීට අමතරව Lakes Entrance සහ Mornington Peninsula හි Dromana ප්‍රදේශවලින් ද ආසාදිත Crested Tern පක්ෂීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ගෘහාශ්‍රිත කුකුළු පක්ෂීන් හෝ වෙනත් සතුන් අතරින් තවමත් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ.
Lakes Entrance හිදී වෛරසය හඳුනාගැනීම විශේෂ සිදුවීමක් බවත්, එයින් H5 කුරුළු උණ East Gippsland ප්‍රදේශයට පැතිර ගොස් ඇති බව තහවුරු වන බවත් ප්‍රධාන ජෛව විවිධත්ව නිලධාරී James Todd සඳහන් කළා. Gippsland Lakes යනු මෙම වෛරසයේ වැඩි අවදානමක් සහිත වෙරළබඩ සහ ජලාශ්‍රිත පක්ෂීන් විශාල වශයෙන් ගැවසෙන කලාපයක් බැවින්, එමගින් වනජීවී ගහනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Dr Graeme Cooke ප්‍රකාශ කළේ ෆෙඩරල් රජයේ අනුමැතිය හිමිවූ වහාම Phillip Island සහ St Kilda හි වෙසෙන Little Penguins පක්ෂීන් 5,000කට වැඩි පිරිසකට H5N1 එන්නත ලබාදීමට පියවර ගන්නා බවයි. එම එන්නත්කරණ වැඩසටහන සඳුදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
රෝගී වූ හෝ මියගිය වනසතුන් ඇල්ලීමෙන් වළකින ලෙසත්, නිවසේ ඇතිකරන සුරතල් සතුන් එම සතුන්ගෙන් ඈත් කර තබන ලෙසත් බලධාරීන් ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
සිකුරාදා පස්වරු 4 වන විට ඕස්ට්‍රේලියාව වෙතින් තහවුරු වී ඇති සමස්ත කුරුළු උණ ආසාදිතයින් ගණන 219ක්.



