Perth හි උතුරු ප්‍රදේශයේ මෝටර් රථ රැසකට හානි සිදුකරමින්, පොලිස් අණ නොතකා අධික වේගයෙන් රිය පදවා පලාගිය 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිකුරාදා දහවල් Toyota Camry වර්ගයේ රථයකින් පැමිණි මොහු, Mount Lawley, Perth, Inglewood සහ East Perth ඇතුළු ප්‍රදේශ කිහිපයක නවත්වා තිබූ සහ ධාවනය වෙමින් පැවැති මෝටර් රථ 20 කට ආසන්න සංඛ්‍යාවකට පහරදී බරපතල හානි සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. එම අවස්ථාවේදී ඇතැම් රථ තුළ පුද්ගලයින් සිටියද, කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

පසුව ගුවන් මඟින් සිදුකළ මෙහෙයුමකින් අදාළ රථය හඳුනාගෙන ලුහුබැඳ ගිය පොලිසිය, Duncraig හි Lilburne Road හිදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Gosnells ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව දේපළවලට හානි කිරීම, මාරාන්තික ලෙස රිය පැදවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇති අතර, ඔහු සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.