අප දිනපතා භාවිත කරන ජංගම දුරකථන විෂබීජ සහ වෛරස් විශාල වශයෙන් බෝවන ස්ථාන බවට පත්ව ඇති බවBond University සහ Murdoch University හි විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. පර්යේෂණයට ලක්කළ දුරකථන 95කින් බැක්ටීරියා, වෛරස් සහ දිලීර ඇතුළු ක්ෂුද්‍ර ජීවීන් 17,000කට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මිනිසුන්ගෙන් 80%ක් පමණ පොදු වැසිකිළි තුළදී පවා දුරකථන භාවිත කිරීමට පුරුදුව සිටීම මෙලෙස විෂබීජ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක්. ජංගම දුරකථනවල ඇති රස්නය සහ තෙතමනය නිසා විෂබීජ ඉතා වේගයෙන් වර්ධනය වන අතර, එමගින් කුඩා ළමුන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් රෝගී වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

ජංගම දුරකථන පිරිසිදු කිරීමේදී මෘදු Microfibre රෙදි කැබැල්ලක් හෝ 70%ක Isopropyl alcohol සහිත Wipes භාවිත කරන ලෙසත්, කිසිවිටෙකත් කෙළින්ම දියර වර්ග දුරකථනයට ඉසීමෙන් වළකින ලෙසත් තාක්ෂණික විශේෂඥයින් උපදෙස් දෙනවා. එමෙන්ම සතිපතා දුරකථනය පිරිසිදු කිරීම සහ වැසිකිළි තුළදී දුරකථන භාවිතයෙන් වැළකීම සෞඛ්‍යයට ආරක්ෂිත වන බවයි පර්යේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.