'ඒක-සංස්කෘතික' ක්‍රමයක් වෙනුවෙන් One Nation පක්ෂය පෙනී සිටින අතරතුර, බහු-සංස්කෘතිකවාදය සමාජ ඒකාබද්ධතාවයට අභියෝගයක් බවට පත්ව ඇති බවට බහුතරයක් ඕස්ට්‍රේලියානුවන් පවසනවා.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය මගින් සිදු කළ නවතම මත විමසුමකට අනුව, ඡන්දදායකයින්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බහු-සංස්කෘතිකවාදය වර්තමානයේ සමාජ ඒකාබද්ධතාවයට ගැටලුවක් බවයි.

One Nation පක්ෂ නායිකා Pauline Hanson ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව 'ඒක-සංස්කෘතික' සමාජයක් විය යුතු බවත්, සංක්‍රමණිකයන් රටේ භාෂාව, සම්ප්‍රදායන් සහ වටිනාකම් අනුගමනය කළ යුතු බවත්ය. 1973 දී Gough Whitlam ගේ කාලයේ 'White Australia policy' අහෝසි කිරීමත් සමඟ මෙම ගැටලු ආරම්භ වූ බව ඇය සඳහන් කළා.

ඇයගේ ප්‍රකාශයත් සමඟ 'White Australia policy' නැවත ගෙන ඒමට උත්සාහ කරන බවට අගමැති Albanese ඇතුළු දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් චෝදනා එල්ල වුවද, Pauline Hanson එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටිනවා.

මේ අතර, SA හි Labor පක්ෂ අගමැති Peter Malinauskas සඳහන් කළේ, සංක්‍රමණිකයන් සංඛ්‍යාව ගැන සැලකිලිමත් වීම ස්වයංක්‍රීයව වර්ගවාදී වීමක් නොවන බැවින් One Nation පක්ෂයේ ආධාරකරුවන් 'වර්ගවාදීන්' ලෙස අර්ථ නොදක්වන ලෙසයි.

කෙසේ වෙතත්, නවතම මත විමසුමට අනුව Labor පක්ෂයේ ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය 28%ක් ලෙස පවතිද්දී, One Nation පක්ෂය 25%ක ප්‍රසාදයක් ලබාගනිමින් තවදුරටත් ශක්තිමත් බලවේගයක් ලෙස රැඳී සිටිනවා.