Victoria ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයෙන් H5N1 කුරුලු උණ ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් නව සිද්ධීන් හයක් පිළිබඳව බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බලශක්ති, පරිසර සහ දේශගුණික ක්‍රියාකාරී දෙපාර්තමේන්තුව පවසන්නේ, crested tern වර්ගයේ පක්ෂීන් පස් දෙනෙකුගේ මූලික පරීක්ෂණවලදී H5N1 ආසාදනය වී ඇති බවට සැක මතුවී ඇති බවයි.
එම පක්ෂීන්ගෙන් තිදෙනෙකු Portland ප්‍රදේශයෙන් හමුවී ඇති අතර, අනෙක් දෙදෙනා Nelson Bay ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
මෙම සාම්පල වැඩිදුර තහවුරු කිරීම සඳහා CSIRO හි Australian Centre for Disease Preparedness වෙත යොමු කර ඇති බවත්, එහිදී අවසන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් සඳහන්.
ඊයේ දිනයේදීත් Portland ප්‍රදේශයෙන් තවත් සැක සහිත H5N1 සිද්ධියක් වාර්තා කළ අතර, පසුගිය බ්‍රහස්පතින්දා Victoria ප්‍රාන්තයේ H5N1 පක්ෂි උණ ආසාදිත පළමු පක්ෂියාද Portland ප්‍රදේශයෙන්ම තහවුරු කර තිබුණා.
මේ අතර, මෙම සතිය මුලදී South Australia ප්‍රාන්තයේ greater crested tern පක්ෂීන් අතර H5 පක්ෂි උණ දේශීයව පැතිර යාමක් පළමු වරට තහවුරු කෙරුණා.
H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේදී පළමු වරට හඳුනාගනු ලැබුවේ ජූනි මාසයේදී Esperance ආසන්න Cape Le Grand National Park ප්‍රදේශයෙන් හමුවූ brown skua පක්ෂියෙකුගෙන් වන අතර, එතැන් සිට සංක්‍රමණික පක්ෂීන් හරහා දකුණු වෙරළ තීරය ඔස්සේ රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ වනවිට Western Australia, South Australia, New South Wales, Queensland සහ Victoria යන ප්‍රාන්තවලින්ද H5N1 ආසාදනය යැයි සැක කෙරෙන සිද්ධීන් වාර්තා වී තිබෙනවා.
Victoria ප්‍රාන්තයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී Graeme Cooke පවසන්නේ, රෝගය නිරීක්ෂණය කිරීම සහ ඉක්මනින් හඳුනා ගැනීම සඳහා මහජනතාවගේ වාර්තා කිරීම් ඉතා වැදගත් බවයි.
ඔහු සඳහන් කළේ, ජනතාවගෙන් ලැබෙන තොරතුරු මගින් නිරීක්ෂණ කටයුතු ශක්තිමත් වන අතර, සාම්පල කඩිනමින් එකතු කර පරීක්ෂා කිරීමටද හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම DEECA කණ්ඩායම් දිනපතා ක්ෂේත්‍රයේ නිරීක්ෂණ, සාම්පල එකතු කිරීම සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ එක්ව රෝගයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සිදුකරන බවද ඔහු පැවසුවා.
Graeme Cooke ජනතාවගෙන් ඉල්ලා සිටියේ අසනීප හෝ මියගිය වනජීවීන් සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙසත්, එවැනි සතුන් දුටුවහොත් හැකි ඉක්මනින් බලධාරීන්ට වාර්තා කරන ලෙසත්ය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, "රෝගය පැතිර යාම නිරීක්ෂණය කිරීම සඳහා අප සතුව ඇති වැදගත්ම මෙවලම වන්නේ කඩිනමින් වාර්තා කිරීමයි," යනුවෙනි.



