ඕස්ට්‍රේලියානු තැපැල් සේවය වෙත ලැබෙන ලිපි ප්‍රමාණය සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්, ඉදිරියේදී ලිපියක් යැවීම සඳහා අයකරන මුදල ඩොලර් 2 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බවට Australia post අනතුරු අඟවා තිබෙනවා.

ඕස්ට්‍රේලියා තැපැල් සේවයේ ප්‍රධානියා Paul Graham ප්‍රකාශ කළේ, පසුගිය වසරේ පමණක් ලිපි හුවමාරුව 15% කින් පමණ අඩු වී ඇති අතර, එය 1930 ගණන්වලින් පසුව වාර්තා වූ අඩුම අගය බවයි. ලිපි බෙදීමේ සේවාව පවත්වාගෙන යාම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසා, දිනපතා ලිපි බෙදීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට සහ මුද්දර ගාස්තු ඉහළ නැංවීමට සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, විදෙස් රටවල මෙන් නිවෙස්වලටම ගොස් ලිපි බෙදීමේ සේවාව සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පාර්සල් බෙදාහැරීමේ ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම ඉහළ ගියද, සාම්ප්‍රදායික ලිපි බෙදීමේ සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා රජයේ සහ ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවද ඔහු අවධාරණය කළා.