ඕස්ට්‍රේලියාවේ Qantas ගුවන් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් යටතේ, එහි රැකියා 1,000 ක් පමණ ඉන්දියාව ඇතුළු විදේශ රටවල් වෙත ලබාදීමට සූදානම් වන බවට වාර්තා වනවා.

'Project iQ' ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ අලෙවිකරණ, මුදල් සහ මානව සම්පත් ඇතුළු අංශ රැසක රැකියා බාහිරින් ලබාදීමට ප්‍රකට Accenture උපදේශන සමාගම සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි Qantas සමාගම තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත්, මෙතෙක් ඒ සඳහා නිල ගිවිසුමකට එළඹ නොමැති බවද එම සමාගම පවසනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන Australian Services Union සංගමය පවසන්නේ, ඕස්ට්‍රේලියානුවන්ගේ රැකියා අහිමි නොකරන බවට Qantas සමාගම ලබාදුන් පොරොන්දුව මෙමගින් කඩවන බවයි. එමෙන්ම, මේ හරහා ගුවන් සේවයේ ගුණාත්මකභාවය පහළ යා හැකි බවටද ඔවුන් අනතුරු අඟවනවා.

මේ අතර Officeworks සහ Woolworths යන ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු සමාගම්ද මෑතකදී තම රැකියා රැසක් ආසියානු රටවල් වෙත ගෙනයාමට පියවර ගෙන තිබුණා.