Queensland හි ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් විශේෂ සීමා සහිත කලාපයක් ස්ථාපිත කර තිබෙනවා.

අදාළ ස්ථානයේ හටගත් ගින්න නිවීමට හදිසි සේවා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරයි මෙලෙස ආරක්ෂිත සීමා සහිත කලාපය පනවා ඇත්තේ.

Ipswich හි Brisbane Street හි ඇති වූ මෙම ගින්නත් සමඟ, මහජන ආරක්ෂාව සුරැකීමේ පනත යටතේ සෙනසුරාදා උදෑසන හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනුණා.

Queensland ‌පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උදෑසන 9.33 ට මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත් කළ බවයි. Brisbane, Waghorn, Limestone සහ Ellenborough යන වීදි මෙම සීමා සහිත කලාපයට අයත් වනවා.

"මහජනතාවට උපදෙස් දෙන්නේ අදාළ ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි. එමෙන්ම දැනටමත් මෙම සීමා සහිත කලාපය ඇතුළත සිටින පුද්ගලයින්ට නැවත දැනුම්දීමක් ලැබෙන තුරු ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙන් පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.