Queensland ප්‍රාන්තයේ නගර කිහිපයක් අතර ගුවන් ගමන් ගාස්තු අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ප්‍රාදේශීය වැසියන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

Brisbane සහ Longreach අතර දෙපසටම ගමන් කිරීම සඳහා ගුවන් ටිකට්පතක මිල ඩොලර් 1,386 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය විදේශීය ගුවන් ගමනක පිරිවැයටත් වඩා වැඩි බවයි මගීන් පෙන්වා දෙන්නේ. Longreach සහ Brisbane අතර ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන එකම සමාගම වන්නේ Qantas සමාගමයි.

කුඩා ගුවන් යානා නඩත්තු කිරීම සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම ගාස්තු වැඩිවීමට හේතුවී ඇති බව ගුවන් සේවා වාර්තා කරයි. කෙසේ වෙතත්, ගුවන් ගමන් ගාස්තු පාලනය කිරීම සඳහා ප්‍රාන්ත රජය මඟින් සිදුකරන පස් අවුරුදු ගිවිසුම් සමාලෝචනය තවත් මාස 12 කින් ප්‍රමාද කිරීමට Department of Transport and Main Roads ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රමාදය හේතුවෙන් තවත් වසරක කාලයක් අධික ගුවන් ගමන් ගාස්තු ගෙවීමට සිදුවන බව පවසමින් දකුණු-බටහිර ප්‍රාදේශීය සභා කිහිපයක නගරාධිපතිවරුන් සිය විරෝධය පළකර සිටිනවා.