Queensland හි පොලිස් රැඳවුම් මධ්‍යස්ථානවල (watch houses) පවතින ඉඩකඩ මදිවීම සහ සෞඛ්‍යාරක්ෂිත නොවන පරිසරය හේතුවෙන්, Queensland පොලිස් සේවය වෙත විධිමත් නියාමන නිවේදන (regulatory notices) නිකුත් කිරීමට ප්‍රාන්ත වැඩබිම් ආරක්ෂණ නියාමන ආයතනය (WPHS) පියවර ගෙන තිබෙනවා.

Queensland පොලිස් සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව Brisbane, Caloundra, Caboolture, Ipswich ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි රැඳවුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ. එහිදී ගොඩනැගිලි නඩත්තුව, වාතාශ්‍රය මදිවීම, සනීපාරක්ෂක ගැටලු සහ ලිංගික හිංසන වැළැක්වීමේ සැලසුම් නොමැතිවීම වැනි අඩුපාඩු රැසක් අනාවරණය වී තිබෙනවා.

රැඳවියන් අධික ලෙස පිරී සිටීම නිසා පොලිස් නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේද ජීවිත අවදානමකට ලක්ව ඇති බවට පොලිස් සංගමය චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙම නියාමන නිවේදන මඟින් අදාළ අඩුපාඩු වහාම සකස් කිරීමට උපදෙස් දී ඇති අතර කිසිදු දඩ මුදලක් අය කර නැහැ.

තම නිලධාරීන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් රැඳවුම් මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සකස් කිරීමට කැපවී සිටින බවයි Queensland පොලිස් සේවයෙහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.