Queensland ප්‍රාන්තයේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ අවදානමක් මතුවීමත් සමඟ, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ Queensland හි LNP ප්‍රාන්ත රජය අතර දේශපාලන චෝදනා එල්ල කරගැනීමක් ආරම්භ වී තිබෙනවා.

ප්‍රාන්තයේ බිලියන ගණනක ණය සහ ඊට අදාළ පොලී පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම අනිවාර්ය එකක් වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. AMP හි ප්‍රධාන ආර්ථික විශේෂඥ Shane Oliver පෙන්වා දෙන්නේ, AA+ මට්ටමේ පවතින මෙම ශ්‍රේණිගත කිරීම පහත වැටීමත් සමඟ ණය පියවීමේ පිරිවැය තවත් ඉහළ යන අතර, එහි සෘජු බලපෑම බදු ඉහළ යාමක් හෝ මහජන සේවා කප්පාදුවක් ලෙස සාමාන්‍ය ජනතාවට විඳීමට සිදුවනු ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මධ්‍යම රජයේ භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers සඳහන් කළේ, මධ්‍යම රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දමා තිබියදීත් ප්‍රාන්තයේ මූල්‍ය තත්ත්වය මෙලෙස පහත වැටීම කනගාටුදායක බවයි.

කෙසේ වෙතත්, Queensland භාණ්ඩාගාර අමාත්‍ය David Janetzki මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, පවතින තත්ත්වයට වසර දහයක් පාලනය ගෙනගිය පෙර පැවති Labor රජය සහ Jim Chalmers ගේ නව අයවැය තීරණ සෘජුවම වගකිව යුතු බවයි. නිවාස වෙළඳපොළේ කඩාවැටීම සහ මුදල් කළමනාකරණයේ පවතින ගැටලු ඇතුළු කරුණු රැසක් මෙම ශ්‍රේණිගත කිරීම පහත වැටීමට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.