Queensland හි සිදුවූ ගෘහස්ථ දරු ප්‍රසූතියකින් පසු Vicki Butler නමැති මව අවාසනාවන්ත ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී, වෛද්‍යවරිය විසින් හදිසි ඇමතුම් අංශය වෙත ලබාදුන් දුරකථන පණිවුඩය Brisbane Supreme Court ජූරිය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
2017 December 27 වනදා Brisbane හි Ipswich හි පිහිටි නිවසේදී සිදුවූ මෙම දරු ප්‍රසූතියෙන් පසු ඇතිවූ දැඩි රුධිර වහනය හේතුවෙන් 41 හැවිරිදි Vicki Butler මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියා. මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 67 හැවිරිදි Robyn Mary James නමැති වෛද්‍යවරිය තමන් වරදකරුවෙකු නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
අධිකරණයේදී අනාවරණය වූයේ අදාළ වෛද්‍යවරිය තමන්ගේ වෛද්‍ය උපකරණ බෑගය පවා නොමැතිව එම ස්ථානයට පැමිණ ඇති බවයි. රෝගියාගේ තත්ත්වය අතිශය බරපතල වන තෙක් හදිසි ගිලන්රථ සේවාවන් කැඳවීමට පැයකට අධික කාලයක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඇයට අපරාධමය නොසැලකිලිමත්කම සහ සේවා පැහැරහැරීමේ චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, වින්දිත මව රෝහල් ගතවීමට කැමැත්ත පළ නොකළ බවත්, පසුව ගිලන්රථ සේවකයින් පැමිණෙන විටත් ඇය අසිහියෙන් සිටි බවත් සඳහන්. Ipswich General Hospital වෙත ඇතුළත් කිරීමෙන් පසු දැඩි උත්සාහයක් දැරුවද එදින සවස ඇය මියගිය අතර, අලුත උපන් දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබෙනවා. Justice Elizabeth Watson හමුවේ මෙම නඩු විභාගය තවදුරටත් පැවැත්වෙනවා.
.



