පසුගිය වසර දෙක තුළ Queensland හි කුඩා දරුවන් තිදෙනෙකුගේ මරණ සඳහා අධික ලෙස එළකිරි පානය කිරීම හේතුවෙන් ඇතිවූ දරුණු යකඩ ඌනතාවය බලපා ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.
Queensland Children's Hospital හි රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Sally Campbell සඳහන් කරන්නේ, වයස අවුරුදු පහට අඩු දරුවන්ට දිනකට එළකිරි 500ml කට වඩා ලබාදීමෙන් ශරීරයට යකඩ උරාගැනීමේ හැකියාව අඩාල වන බවයි. මෙය දරුවන්ගේ ප්‍රතිශක්තිය අඩු කර, හෘදයාබාධ හා වෙනත් සංකූලතා ඇති කරමින් ජීවිත අවදානමක් පවා ඇති කළ හැකි බව ඇය පෙන්වා දෙනවා.
Perth හි පැවැත්වෙන ORIGINS පර්යේෂණයට අනුව, වයස අවුරුදු තුන වන විට දරුවන්ගෙන් 56% කට වඩා වැඩි පිරිසකට යකඩ ඌනතාවය පවතින බව සොයාගෙන තිබෙනවා. වයස අවුරුද්දට අඩු දරුවන්ට කිසිසේත්ම එළකිරි නොදිය යුතු අතර, වයස අවුරුදු 1-5 අතර දරුවන්ට දිනකට එළකිරි කෝප්ප දෙකකට සීමා කරමින් යකඩ බහුල ආහාර ලබාදීමට කටයුතු කරන ලෙසයි වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.



