Queensland රාජ්‍ය අරමුදල් අහිමි වේ යැයි බියෙන්, එහි ප්‍රධාන පෙළේ ජනතා සේවා සංවිධානවල හඬ මර්දනය කිරීමට Queensland රජය කටයුතු කරමින් සිටින බවට විපක්ෂය චෝදනා කරනවා. මෙය "Trump’s America" තත්ත්වයට සමාන බවයි විපක්ෂය පවසන්නේ.
කෙසේ වෙතත්, නිවාස අහිමිභාවය සහ ළමා ආරක්ෂණය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා වන ප්‍රතිපාදන කපා හරින බවට තර්ජනය කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රාන්ත අගමැති David Crisafulli ප්‍රතික්ෂේප කළා.
නම හෙළි නොකළ එක් සේවා යෝජකයෙකු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, LNP රජය විසින් ක්ෂේත්රයේ ප්‍රඥාවන්තයින්ට නිදහසේ අදහස් දැක්වීමට ඉඩ නොදීම හරහා අසරණ ජනතාවගේ හඬ අඩපණ කර ඇති බවයි. රජයට පක්ෂපාතී වන පාර්ශවයන්ට පමණක් මුදල් වෙන්කිරීම සිදුකරන බවත්, සැබෑ තත්ත්වය තේරුම් නොගෙන රජය තීරණ ගන්නා බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ප්‍රාන්ත අගමැති David Crisafulli සඳහන් කළේ, බදු ගෙවන ජනතාවගේ මුදල් සපයන විට වගවීම සහ ප්‍රතිඵල ලබාදීම අත්‍යවශ්‍ය බවයි. නියෝජ්‍ය ප්‍රාන්ත අගමැති Jarrod Bleijie සහ ළමා ආරක්ෂණ අමාත්‍ය Amanda Cammද මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටියා.



