ඕස්ට්‍රේලියාවේ විශාලතම Apartment Hotel ජාලයක් වන Quest හි පරිගණක දත්ත පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමෙන්, පාරිභෝගිකයින් ලක්ෂ 17 කගේ පමණ පෞද්ගලික තොරතුරු පිටතට ගොස් ඇති බවට අනතුරු අඟවනවා.
හෝටල් ජාලයට සේවාවන් සපයන බාහිර ආයතනයක පැවති පද්ධති දුර්වලතාවයක් හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස බාහිර පුද්ගලයින් සතු වී ඇත්තේ 2025 ජූනි මාසයට පෙර Quest හෝටල්වල නවාතැන්ගත් පාරිභෝගිකයින්ගේ නම්, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංක සහ ඇතැම් අයගේ උපන් දින ඇතුළු පෞද්ගලික තොරතුරුයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට මෙය පාලනය කිරීමට පියවර ගෙන ඇති බව Quest හෝටල් කළමනාකාරීත්වය ප්‍රකාශ කරනවා.
අදාළ සිදුවීමෙන් බලපෑමට ලක්වූ පාරිභෝගිකයින් වෙත මේ වන විටත් විද්‍යුත් තැපෑල හරහා දැනුම්දීම් සිදුකර ඇති අතර, සැකකටයුතු ඇමතුම්, කෙටි පණිවිඩ හෝ නොදන්නා ලින්ක් මගින් පැමිණෙන පණිවිඩ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට හෝටල් පාලනාධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



