හෙට නිකුත් වීමට නියමිත නවතම උද්ධමන දත්ත මත ඕස්ට්‍රේලියාවේ බැංකු පොලී අනුපාතයන් හි අනාගතය තීරණය වනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා.
මෙවර උද්ධමනය 3.3% දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කළද, එය වෙනස් වුවහොත් පොලී අනුපාත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇති. Fort Lake Asset Management ආයතනයේ නිර්මාතෘ Christian Baylis පෙන්වා දෙන්නේ, උද්ධමනය 3.6% දක්වා ඉහළ ගියහොත් ඉදිරි සැප්තැම්බර් මාසයේදී නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට ඕස්ට්‍රේලියානු මහ බැංකුව පියවර ගනු ඇති බවයි. නමුත් එය 3% දක්වා අඩු වුවහොත් පොලී අනුපාත පහත හෙලීම පිළිබඳ සාකච්ඡා ආරම්භ විය හැකියි.
පසුගිය වසර කිහිපය තුළ පැවැති අධික උද්ධමනය හේතුවෙන් ජනතාවට භාණ්ඩ හා සේවා සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බවත්, මහ බැංකුවට සිය කාර්යභාරය පහසු කිරීම සඳහා රජය ව්‍යාපාර සඳහා පවතින අනවශ්‍ය බාධක ඉවත් කර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, මහ බැංකුවෙහි පසුගිය අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ සටහන් ද නිකුත් වීමට නියමිත අතර, මෙම දත්ත ද්විත්වය මගින් ඉදිරියේදී නයගැතියන්ට සහන හිමිවේද නැතහොත් වැඩි පොලියක් ගෙවීමට සිදුවේද යන්න පැහැදිලි වනු ඇත.



