ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලින් පිටත පිහිටි ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, එම ප්‍රදේශ සඳහා වහාම වැඩි සහන සේවා හා ආරක්ෂක පියවරයන් අවශ්‍ය බවත් විශේෂඥයින් පෙන්වා දෙනවා.

Molly Ticehurst නමැති කාන්තාව Forbes හි පිහිටි ඇගේ නිවසේදී ඝාතනය වීමේ සිද්ධිය උපුටා දක්වන විශේෂඥයින් සඳහන් කරන්නේ, ග්‍රාමීය ප්‍රදේශවල පවතින හුදෙකලා බව, රාත්‍රී කාලයට පොලිස් ආරක්ෂාව නොමැති වීම මෙන්ම ප්‍රවාහන හා සන්නිවේදන පහසුකම් සීමිත වීම හිරිහැර කරන්නන්ට දැඩි වාසියක් වී ඇති බවයි. එමෙන්ම කුඩා ගම්මානවල පවතින හඳුනාගැනීම් නිසා රහස්‍යභාවය රැකගැනීමට ඇති බිය හේතුවෙන් බොහෝ කාන්තාවන් තමන් මුහුණදෙන හිංසනයන් පිළිබඳව හෙළි කිරීමට මැලිවන බවද සඳහන්.

Griffith University සහ University of Melbourne හි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ප්‍රචණ්ඩත්වය සිදුවූ පසු නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා, ළමා වියේ සිටම ආකල්පමය වෙනසක් ඇති කරන පූර්ව නිවාරණ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම මගින් මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබාගත හැකි බවයි.