නිවසේ ඇති අමතර කාමර සහනදායී මුදලකට කුලියට දීමට කැමැත්තෙන් සිටියත්, පවතින බදු නීති සහ සංකීර්ණ රෙගුලාසි ඊට බාධාවක් වී ඇති බව නිවාස හිමියන් පවසනවා.

Brisbane හි පදිංචි Ali Bradley සඳහන් කරන්නේ, ආදායම් බදු සහ Capital Gains Tax වැනි බදු බර නිසා මෙලෙස කාමර කුලියට දීමට නොහැකි වී ඇති බවයි. වත්මන් නිවාස අර්බුදයට විසඳුමක් ලෙස මෙය කළ හැකි වුවත්, බදු නීති මගින් එය දිරිගන්වන්නේ නැති බව ඇය පෙන්වා දෙනවා.

දේපළ ක්ෂේත්‍රයේ ආර්ථික විශේෂඥයෙකු වන Lyndall Bryant පවසන්නේ, පෙර කාලවලදී විශ්වවිද්‍යාල සිසුන්ට සහ තරුණයින්ට මෙලෙස කාමර කුලියට දීම සාමාන්‍ය දෙයක් වූ අතර, බදු ගෙවීමට සිදුවේ යැයි පවතින බිය නිසා දැනට එම තත්ත්වය අඩුවී ඇති බවයි. අයර්ලන්තය  වැනි රටවල සහනදායී කුලී පදනම යටතේ කාමර ලබාදෙන විට බදු සහන හිමිවන ක්‍රමවේදයන් පවතින බවද ඇය සඳහන් කළා.

මේ අතර, Australian Taxation Office (ATO) ආයතනය පවසන්නේ පවුලේ සමීපතමයෙකුට කාමරයක් ලබාදීම සහ පිටස්තර පුද්ගලයෙකුට කුලියට දීම යන්න බදු නීති යටතේ වෙනස් ආකාරයකින් සැලකෙන බවයි.

ඔස්ට්‍රේලියාව පුරා භාවිතයට නොගත් අමතර කාමර මිලියන 13ක් පමණ පවතින බව ජන සංගණන දත්ත මගින් පෙන්වා දෙනවා. Homeshare Australia and New Zealand Alliance (HANZA) ආයතනයේ සභාපති Rosie Lawn සඳහන් කරන්නේ, නිවසේ හිමිකරුවන්ට සහ කුලී නිවැසියන්ට පැහැදිලි නීතිමය ආවරණයක් ලබාදෙන්නේ නම්, පවතින නිවාස අර්බුදයට මෙය හොඳ විසඳුමක් වන බවයි.