Bendigo Golden Dragon Museum හි නිර්මාතෘ Russell Jack AM වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ නිල අනුග්‍රහය සහිත අවමංගල්‍ය උත්සවයක් මෙහෙයවීමට තීරණය කර තිබෙනවා.
අගෝස්තු 11 වනදා අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ අවසන් කටයුතු අගෝස්තු 29 වන සෙනසුරාදා Bendigo හිදී සිදුකිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික කැන්ටොනිස් සංස්කෘතික "ශෝකී සිංහ නැටුම්" චාරිත්‍රය පැවැත්වෙන අතර, වසර සියයකට වැඩි කාලයකට පසු ප්‍රාදේශීය Victorian නගරයක මෙවැනි චාරිත්‍රයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
Bendigo Chinese Association හි දීර්ඝ කාලීන නායකයෙකු වූ Russell Jack, Bendigo රන් ආකර ප්‍රදේශ වෙත චීන-ඔස්ට්‍රේලියානු පරම්පරා ගණනාවක් විසින් ගෙන ආ සම්ප්‍රදායන් ඉදිරි පරම්පරාවට දායාද කිරීම වෙනුවෙන් ප්‍රකට Golden Dragon Museum ආරම්භ කිරීමට කටයුතු කළා. චීන සංස්කෘතිය සහ උරුමයන් සුරැකීමට කළ මෙහෙවර උදෙසා 1993 වසරේදී ඔහු Order of Australia සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
Ulumbarra Theatre හි පැවැත්වෙන විශේෂ ගෞරව දැක්වීමෙන් අනතුරුව, සුදු පැහැති සාම්ප්‍රදායික ශෝකී සිංහ චාරිත්‍ර පෙරහැර සමගින් දේහය Bendigo Cemetery වෙත ගෙන යාමට නියමිතයි. චීන සංස්කෘතිය ප්‍රදේශයේ ජනතාව අතරට ගෙන යාමට කැපවූ ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා Bendigo වැසියන්ටද මෙම අවස්ථාවට එක්වන ලෙස පවුලේ සංවිධායකයින් ආරාධනා කර සිටිනවා.



