අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් තරුණියක යැයි සිතූ පුද්ගලයෙකුට සිය නිරුවත් ඡායාරූපයක් යැවීමෙන් පසු, "Sextortion" හෙවත් ලිංගික අල්ලස් සහ කප්පම් ඉල්ලීමේ බරපතල තර්ජනයකට ලක්වූ 15 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.

Snapchat ඔස්සේ ආරම්භ වූ මෙම සංවාදය පසුව Telegram වෙත යොමුකර ඇති අතර, එහිදී ලබාගත් නිරුවත් ඡායාරූපය පාසලේ සහ හඳුනන පිරිස අතර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් විදේශයක සිට ක්‍රියාත්මක වන බවට සැකකෙරෙන මෙම ජාවාරම්කරුවන් මුදල් ඉල්ලා තිබෙනවා. සති කිහිපයක් තිස්සේ දැඩි මානසික පීඩනයකින් පසුවූ මෙම තරුණයා පසුව සිය පියාට මේ පිළිබඳව පවසා ඇති අතර, පියා විසින් අදාළ ජාවාරම්කරුවන්ට ප්‍රතිචාර දක්වා දුරකථන අංකය Block කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවැනි තර්ජන හමුවේ මීට පෙරද තරුණයින් කිහිපදෙනෙකු සියදිවි හානිකරගෙන ඇති බව පෙන්වා දෙන ඕස්ට්‍රේලියානු ළමා අපයෝජන මර්දන බලධාරීන් (ACCCE), අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙවැනි තර්ජනය කර මුදල් ඉල්ලීම් පිළිබඳව දෙමාපියන් සිය දරුවන් සමඟ විවෘතව කතාබහ කිරීම අත්‍යවශ්‍ය බවත්, යම් හදිසි අවස්ථාවකදී අදාළ සාක්ෂි සටහන් කරගෙන වහාම උපකාරක සේවාවන් වෙත යොමුවන ලෙසත් උපදෙස් දෙනවා.