Logan හි Slacks Creek ප්‍රදේශයේ නිවසකදී සිය හිටපු සහකාරිය ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රී 12:30 ට පමණ අදාළ පුද්ගලයා විසින්ම හදිසි ඇමතුම් අංශයට කතා කර, පහරදීමකින් පසු සිය නිවසේ කාන්තාවක සිහිසුන්ව සිටින බව දැනුම් දී ඇති බවයි.
ඒ අනුව Slacks Creek හි Rowanda වීදියෙහි පිහිටි නිවසට විනාඩි කිහිපයක් ඇතුළත ළඟාවූ පොලීසිය, නිවසේ නිදන කාමරයක වැටී සිටි Woody Point හි පදිංචි 27 හැවිරිදි අදාළ කාන්තාව සොයාගෙන තිබෙනවා.
පොලීසිය සහ සුවසැරිය කණ්ඩායම් විසින් ඇයට මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කළද, අලුයම 1:00 ට පමණ ඇය මියගොස් ඇති බවයි තහවුරු කෙරුණේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක Ian Galpin සඳහන් කළේ, සිද්ධියෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහජනතාවට ඉන් කිසිදු තර්ජනයක් නොමැති බවයි.


