කාන්තාවන් සහ ළමයින් නොදැනුවත්ව රහසිගතව ඡායාරූප හෝ වීඩියෝ පට ගත කිරීමේ අවදානමක් පවතින බව පවසමින්, පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වැනි පොදු ස්ථාන තුළ Smart glasses තහනම් කිරීමට Melbourne හි Yarra Council පියවර ගෙන තිබෙනවා.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවැති සභා රැස්වීමේදී මෙම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත වී ඇති අතර, පැළඳිය හැකි මෙම නවීන තාක්ෂණික උපකරණ මගින් සිදුවන පුද්ගලිකත්වයට එල්ලවන තර්ජන සලකා බලමින් මෙරට Privacy Act හෙවත් පුද්ගලිකත්ව පනත ශක්තිමත් කරන ලෙසද මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා.

මීට පෙර Google Glass වැනි උපකරණ අධික මිළ ගණන් යටතේ අලෙවි වූවත්, වර්තමානය වන විට Kmart වැනි වෙළෙඳසැල් හරහා ඉතා අඩු මුදලකට කැමරා සහිත කණ්ණාඩි තබාගත හැකි මට්ටමට පැමිණ තිබීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ Brisbane City Council විසින්ද මීට පෙර පොදු පිහිනුම් තටාක තුළ Smart glasses භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.