ඕස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා පනවා ඇති සමාජ මාධ්‍ය තහනම තවදුරටත් ශක්තිමත් කරමින්, සමාජ මාධ්‍ය සමාගම් පාලනය සඳහා දැඩි නීති රීති පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම තහනම උල්ලංඝනය කරන Facebook, Instagram, TikTok සහ X වැනි සමාජ මාධ්‍ය ජාල සඳහා පනවන දඩ මුදල් දෙගුණයකින් වැඩි කිරීමටත්, ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අන්තර්ජාල ආරක්ෂණ කොමසාරිස් වෙත වැඩි බලතල ලබාදීමටත් නව පනතක් මගින් යෝජනා කර තිබෙනවා.

මෙම යෝජිත නව නීති සම්බන්ධයෙන් පැවැත්වෙන සෙනෙට් කමිටු විමර්ශනයට අද දින දෙමාපියන්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ අදාළ සමාජ මාධ්‍ය සමාගම්වල නියෝජිතයින් එක්වීමට නියමිතයි. සමාජ මාධ්‍ය හිරිහැර හේතුවෙන් තම දරුවන් අහිමි වූ දෙමාපියන්ද මෙහිදී සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම නීති ප්‍රමාදයකින් තොරව බලාත්මක කළ යුතු බවයි.