ව්‍යාජ 'squishy' සෙල්ලම් බඩු නිසා ළමුන් අනතුරේ වැටීමේ අවදානමක් හේතුවෙන්, ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක  බලධාරීන් එම නීතිවිරෝධී භාණ්ඩ වැටලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස වෙළඳපොළට පැමිණෙන ව්‍යාජ නිෂ්පාදන සෑදීමට භාවිත කර ඇති අමුද්‍රව්‍ය මොනවාදැයි පැහැදිලි නැති අතර, ඒවා පිපිරීමෙන් ළමයින්ට තුවාල සිදුවීමේ දැඩි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. පසුගියදා ඕස්ට්‍රේලියාවේ 10 හැවිරිදි දැරියක් මයික්‍රෝවේව් උඳුනක දමා රත් කළ 'NeeDoh' වර්ගයේ සෙල්ලම් බඩුවක් අතේ තබාගෙන මිරිකීමේදී එය පිපිරී යාමෙන් මුහුණට දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ NeeDoh නිෂ්පාදනය කරන Schylling සමාගම සහ එහි ඕස්ට්‍රේලියාවේ බෙදාහරින්නන් ඉල්ලා ඇත්තේ නීති විරෝධී ලෙස රටට ඇතුළු කරන මෙවැනි ව්‍යාජ සෙල්ලම් බඩු දේශසීමා ආරක්ෂක බලධාරීන් හරහා වහාම රාජසන්තක කරන ලෙසයි. මීට පෙර US බලධාරීන් ද ඩොලර් 200,000 කට ආසන්න ව්‍යාජ squishy සෙල්ලම් බඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අඩු මිලට අලෙවි කරන, නම වැරදියට සඳහන් කර ඇති සහ Coca-Cola හෝ Pepsi වැනි ප්‍රකට සන්නාමයන්ගේ නම් යොදා ඇති ව්‍යාජ සෙල්ලම් බඩු මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස බලධාරීන් දෙමාපියන්ට දැඩි ලෙස අවධාරණය කරනවා. එමෙන්ම මෙම සෙල්ලම් බඩු රත් කිරීම, ෆ්‍රීසර් එකේ දැමීම හෝ මයික්‍රෝවේව් කිරීමෙන් වළකින ලෙසයි නිෂ්පාදකයින් දැනුම් දෙන්නේ.