NSW හි Riverina ප්‍රදේශයේ පිහිටි SunRice සහල් සැකසුම් බලාගාරයේ රැකියා සිය ගණනක් අහෝසි වීම වැළැක්වීම සඳහා අගමැති Anthony Albanese ගේ මැදිහත්වීමෙන් බහු-මිලියන ඩොලර්වල ආධාර පැකේජයක් ලබාදීමට ෆෙඩරල් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව One Nation පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley තහවුරු කරනවා.
ලොව විශාලතම සහල් නිෂ්පාදන සමාගමක් වන SunRice, Deniliquin සහ Leeton හි පිහිටි බලාගාරවල මෙන්ම Australian Grain Storage ආයතනයේ රැකියා 78 ක් සම්පූර්ණයෙන්ම කපා හැරීමටත්, තවත් තනතුරු 92 ක වෙනස්කම් සිදු කිරීමටත් සූදානම් වන බව මෙම මස මුලදී නිවේදනය කළා. ආණ්ඩුවේ ජල මිලදී ගැනීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් වගාවන්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් බවයි එම සමාගම පෙන්වා දුන්නේ.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් David Farley මන්ත්‍රීවරයා සඳහන් කළේ, අගමැතිවරයා තමා සමග සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම රැකියා සුරැකීමේ විසඳුමකට එළඹුණු බවයි. කර්මාන්තශාලා නවීකරණය සඳහා ක්ෂේත්‍රයෙන් යොදවන ඩොලර් මිලියන 15 ක මුදලට සමාන මුදලක් ආණ්ඩුවෙන් ලබාදෙන ලෙස තමා ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර අමාත්‍ය Murray Watt ගේ කාර්යාලය ප්‍රකාශ කළේ, SunRice සමාගමෙන් නව ආයෝජන යෝජනාවක් ලැබී ඇති බවත්, නිල යෝජනාවලිය ඉදිරිපත් වූ පසු ඒ සඳහා සම-ආයෝජනයක් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බවත්ය.



