Melbourne හි බටහිර ප්‍රදේශයේ Sunshine හි වෙළඳසැලක් පවත්වාගෙන ගිය Van Viet Truong නැමැති 60 හැවිරිදි පුද්ගලයා පහරදීමකින් මියයාමේ සිද්ධියත් සමඟ, එම ප්‍රදේශයට වැඩි පොලිස් බලඇණි යෙදවීමට සහ Bail laws ඇප නීති තද කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

සොරකමක් වැළැක්වීමට යාමේදී පිරිසකගේ පහරදීමට ලක්වූ Truong රෝහල්ගතව සිටියදී මියගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ Sunshine ප්‍රදේශයේ ඇතිවී තිබෙන බිය සහ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නගරාධිපති Virginia Tachos ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පවසන්නේ, ප්‍රදේශයේ අපරාධ ඉහළ ගොස් ඇති බැවින් Victoria පොලිස් මුර සංචාර සහ පොලිස් බලඇණි වැඩි කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Victoria පොලිසිය සඳහන් කරන්නේ, Sunshine ඇතුළු Melbourne හි බටහිර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ජනතාවගේ බිය දුරු කිරීමට ඉදිරියටත් අවශ්‍ය පියවර ගන්නා බවයි.