Western Sydney ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී විශාල අවි ආයුධ තොගයක් සොයාගැනීමත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ නිවසේ තහනම් ගිනි අවි තබාගෙන සිටින බවට ලැබුණු තොරතුරකට අනුව, සිකුරාදා සවස 7.00 ට පමණ Penrith හි Rodley Ave හි පිහිටි නිවාස සංකීර්ණයක සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

 

එම නිවස පරීක්ෂා කිරීමේදී රයිෆල් 2ක් සහ ඊට අදාළ උණ්ඩ, කෙටි කරන ලද රයිෆලයක්, රිවෝල්වර් 2ක්, crossbows 2ක් සහ bolts, nunchucks, mace spray, අධි බලැති laser උපකරණයක්, knuckle-dusters, spear gun එකක්, යුද පොරෝ, කටාරම්, combat knife එකක්, වායු පිස්තෝල, වායු රයිෆල්, gel blasters කිහිපයක්, මුදල් මෙන්ම සොරකම් කළ බවට සැක සහිත දේපළ රැසක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 27 සහ 43 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනා Penrith පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

 

එහිදී 27 හැවිරිදි පුද්ගලයාට එරෙහිව ගිනි අවි, තහනම් අවි, මත්ද්‍රව්‍ය සැපයීම සහ සොරකම් කරන ලදැයි සැක කෙරෙන දේපළ සම්බන්ධයෙන් චෝදනා 59ක් ගොනු කර ඇති අතර, 43 හැවිරිදි අනෙක් පුද්ගලයාට එරෙහිව සොරකම් කරන ලද බවට සැක සහිත දේපළ සහ නිවාස බිඳීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනා ගොනු කර තිබෙනවා. ඔවුන් දෙදෙනාටම ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, සෙනසුරාදා දිනයේ Bail Division Court  හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.