Sydney හි Entertainment Quarter පරිශ්‍රයේදී ව්‍යාජ ගිනිඅවියක් සිරැරේ බැඳගෙන කලබලකාරී තත්ත්වයක් ඇති කළ බවට චෝදනා ලැබූ 35 හැවිරිදි සූපවේදියෙකු වන Jacopo Mastrocinque හට අධිකරණය මගින් ඇප හිමිව තිබෙනවා.

පසුගිය සඳුදා පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමේදී, ගිනිඅවියක් සහිත ඇඳුමකින් සැරසී සිටි මෙම පුද්ගලයා දෙස බලා ජනතාව දැඩි ලෙස භීතියට පත්ව ඇති අතර, පසුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණයේදී කරුණු දක්වමින් ඔහුගේ නීතිඥවරිය පැවසුවේ, අසල පිහිටි ස්ථානයක පැවැති 'Heroes and Villains' තේමාවෙන් යුත් සාදයක් සඳහා ඔහු මෙම ඇඳුම ඇඳ සිටි බවත්, පිටතට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවත්ය.

කෙසේ වෙතත්, Bondi ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන පසුබිමක මෙවැනි ක්‍රියාවන්ගෙන් මහජනතාව අනියම් බියකට පත්වන බව විනිසුරුවරයා පෙන්වා දුන්නා. පසුව විදේශගමන් බලපත්‍රය භාරදීම ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්ව Jacopo Mastrocinque හට ඇප හිමිවුණා.