Sydney හි south-west ප්‍රදේශයේ සිදුවූ බවට සැකකෙරෙන සුනඛයින්ගේ සපාකෑමකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Campbelltown ආසන්නයේ Eschol Park හි Badgally Road පිහිටි ඉඩමක මළසිරුරක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, එහි තිබී බරපතල තුවාල සහිතව මියගොස් සිටි 23 හැවිරිදි තරුණයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා මියයාමට පෙර සතුන්ගේ ප්‍රහාරයකට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව NSW පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එම ඉඩම තුළ සුනඛයින් කිහිපදෙනෙකු සිට ඇති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් NSW පොලිසිය සිදුකරන පරීක්ෂණ සඳහා Campbelltown නගර සභාවෙහි සහායද හිමිව තිබෙනවා. එම සුනඛයන්ගේ ලියාපදිංචිය සහ අයිතිය සම්බන්ධයෙන්ද සොයා බලන බවයි බලධාරීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.