Sydney නගරයේ ස්ථාන කිහිපයක සිදුකළ ලැව්ගිනි පාලන ගිනි තැබීම් හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ඝන දුමකින් වැසී ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම Sydney හි බටහිර, නිරිතදිග සහ දකුණු ප්‍රදේශවල මෙම දැඩි දුම් තත්ත්වය වාර්තා වී ඇති අතර, Lidcombe, Bankstown, Greenacre සහ Menai වැනි ප්‍රදේශවල ජනතාවට ඉන් දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පවතින අඩු සුළං තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා දවස පුරාම මෙම දුම් තත්ත්වය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉදිරි ගිම්හාන කාලයේදී ඇතිවිය හැකි දරුණු ලැව්ගිනි අවදානම පාලනය කිරීම සඳහා Rural Fire Service (RFS) ආයතනය විසින් මෙම පූර්ව ආරක්ෂිත ගිනි තැබීම් සිදුකරන අතර, අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට නිවෙස්වල දොර ජනෙල් වසා තබන ලෙසත්, ඇදුම හෝ ශ්වසන අබාධ සහිත පුද්ගලයින්ට හැකි තරම් ගෘහස්ථව සිටින ලෙසත් උපදෙස් දී තිබෙනවා.