Sydney Airport හරහා ගමන් ගන්නා ගුවන් වාර ගණනාවකට අද දැඩි බාධා එල්ල වී තිබෙනවා. මෙම ප්‍රමාදයන් හේතුවෙන් රට පුරා සටහන්ගත අනෙකුත් ගුවන් ගමන් සඳහාද අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Sydney Airport වෙතින් පිටත්වීමට නියමිතව තිබූ ගුවන් වාර රැසක් පැයකට අධික කාලයකින් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ. Qantas ගුවන් සේවයේ ගමන් වාර 50කට වැඩි ප්‍රමාණයක් විනාඩි 90කින් පමණ ප්‍රමාද වී ඇති අතර, ගමන් වාර 4ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. මීට අමතරව Virgin Australia ගුවන් වාර 20ක් සහ Jetstar ගුවන් වාර 25ක් පමණ ප්‍රමාද වී ඇති බව සඳහන්.

Rex ප්‍රාදේශීය ගුවන් සේවයටද මින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පර්යන්ත වෙත නැවත රැගෙන යාමට ගුවන් මගීන් බස් රථ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම, Hong Kong සහ Seoul වැනි විදේශීය ගමනාන්ත වෙත පිටත්වීමට තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන්ද පැයකින් පමණ ප්‍රමාද වී ඇති බව FlightRadar24 දත්ත පෙන්නුම් කරනවා.

ගුවන් ගමනාගමන පාලන පද්ධතියේ සහ රේඩාර් පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම ප්‍රමාදයට හේතුවී ඇති බවයි සඳහන් කරන්නේ.