Sydney ගුවන්තොටුපළ හරහා ගමන් කරන මගීන්ට අද දිනයේදී අපේක්ෂිත වේලාවට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. ආරක්ෂක අංශ සහ ගොඩබිම් සේවා සේවකයන් විසින් වෙනම ක්‍රියාත්මක වන වර්ජන දෙකක් මෙයට හේතු වී තිබෙනවා.

පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන Certis Security සමඟ පැවති වැටුප් සාකච්ඡා බිඳවැටීම නිසා ආරක්ෂක කාර්ය මණ්ඩලයේ 400ක් පමණ පිරිසක් අද උදෑසන පැය දෙකක සංකේත වැඩවර්ජනයක නිරත වුණා. මීට අමතරව, Qantas ආයතනයට අයත් භාණ්ඩ ප්‍රවාහන සහ බිම් සේවා සේවකයන් පිරිසක්ද Sydney, Adelaide, Brisbane සහ Perth ගුවන්තොටුපළවල පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් වැඩි කරගැනීම සහ ස්ථිර වැඩ පැය ප්‍රමාණයක් ලබාගැනීම වෙනුවෙන් මෙම වර්ජන ක්‍රියාත්මක වන අතර, මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් සිටින බව Sydney ගුවන්තොටුපළ සහ Qantas ආයතන පවසනවා.