සති කිහිපයක් ඇතුළත Sydney ගුවන්තොටුපළෙහි ධාවන පථ තුළ ගුවන් යානා එකිනෙක ගැටීමට ආසන්න වූ සිදුවීම් 4 ක් වාර්තා වීමත් සමඟ ගුවන් ගමන් පාලන අංශවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය විසින් 2003 සිට 2025 දක්වා ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී හෙළි වී ඇත්තේ, ගුවන් යානා ධාවන පථවලට අවසර නොමැතිව ඇතුළු වීම් සහ ගොඩබිම ගමන් කිරීමේදී සිදුවන අනතුරු හෝ ගැටීමට ආසන්න වීම් කාලයත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය ජූලි 27 වනදා සිට අගෝස්තු මාසය මුල දක්වා කාලය තුළ Qantas, Jetstar, Virgin Australia සහ Qatar Airways යන ගුවන් සේවාවලට අයත් යානා මෙලෙස ධාවන පථවලදී අනතුරුදායක ලෙස එකිනෙකට ආසන්න වී තිබුණා.
ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟකම සහ සේවකයන් අධික ලෙස අතිකාල සේවයේ යෙදවීම මෙම තත්ත්වයට බලපා ඇත්දැයි පරීක්ෂකයන් මේ වන විට පරීක්ෂණ පවත්වනවා.
කෙසේ වෙතත්, මෙය එකවරම Sydney ගුවන්තොටුපළෙහි ආරක්ෂාව බිඳවැටීමක් ලෙස හැඳින්විය නොහැකි වුවත්, දීර්ඝ කාලීනව ධාවන පථ ආශ්රිත මෙවැනි අනතුරුදායක සිදුවීම් වැඩිවීම කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.



