Sydney ගුවන්තොටුපළහි එකම ධාවන පථය වෙත එකම අවස්ථාවේදී ගුවන්යානා දෙකක් යොමු කිරීම නිසා සිදුවීමට ගිය බරපතල අනතුරක් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. වසරකට මෙවැනි සිදුවීම් 60 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවයි පරීක්ෂකයන් පවසන්නේ.
ගුවන්තොටුපළ වෙත ගොඩබස්වන ලද Queenstown සිට පැමිණි Qantas 737 යානයට සහ Canberra සිට පැමිණි Qantas Link Dash 8 යානයට එකම වේලාවක එකම ධාවන පථය භාවිතා කිරීමට අවසර ලැබීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය හටගෙන තිබෙනවා. ජූලි 27 වනදා පෙරවරු 8.14 ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
ගුවන් ගමනාගමන පාලකයන් සහ ගුවන් නියමුවන් අතර සන්නිවේදනය බිඳවැටීමට හේතුව සෙවීම සඳහා දැනටමත් නියමුවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, පටිගත කළ දත්ත සහ ගුවන්විදුලි සන්නිවේදනයන් පරීක්ෂා කරමින් පවතිනවා. මෙම පරීක්ෂණ වාර්තාව වසර අවසානය වන විට නිකුත් කිරීමට නියමිතයි.



