Sydney හි ප්‍රධානතම දේපළ වෙළඳාම් සහ නිවාස ඉදිකිරීමේ සමාගමක් වන Bathla Group, මාස ගණනාවක් පුරා පැවැති දැඩි මූල්‍ය පීඩනය හමුවේ පරිපාලන අර්බුදයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රධාන සමාගම වන Universal Property Group සහ ඊට අනුබද්ධ Raj & Jai Construction යන සමාගම්වල පාලනය Teneo ආයතනයේ ස්වාධීන පරිපාලකයන් වෙත පැවරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. Western Sydney හි Schofields, Marsden Park සහ Tallawong වැනි ප්‍රදේශවල අඩු පිරිවැය නිවාස, Townhouses සහ Apartments 25,000 කට අධික ප්‍රමාණයක් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා මෙම සමාගම සම්බන්ධ වී සිටිනවා.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Bhart Bhushan සඳහන් කළේ, නිවාස අලෙවිය පහත වැටීම, බදු සංශෝධන සහ ඉදිකිරීම් පිරිවැය අධික ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වූ බවයි. පසුගිය වසරේ ජූනි මාසය වන විට Universal Property Group සමාගම ඩොලර් බිලියන 3.2 ක ණය බරකින් පෙළුණු බව සඳහන්.

මේ අතර, අදාළ සමාගම මගින් නිවාස සහ Apartments මිලදී ගැනීමට මුදල් ගෙවා ඇති පාරිභෝගිකයන් රැසක්, සිය නිවාස ඉදිකිරීම් නියමිත වේලාවට අවසන් නොවීම සහ සමාගමේ වත්මන් තත්ත්වය හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව සිටිනවා. කෙසේ වෙතත්, ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කරමින් ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාමට උත්සාහ කරන බව පරිපාලකයන් සඳහන් කරනවා.