Queensland හි ගැබිණි මව්වරුන්ගෙන් කුස තුළ සිටින දරුවන්ට Syphilis රෝගය වැළඳීම හේතුවෙන් වසර තුනක් ඇතුළත බිළිඳුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Queensland Health දත්තවලට අනුව මේ වසරේ පමණක් ගැබිණි කාන්තාවන් 55 දෙනෙකුට මෙම ලිංගිකව සංක්‍රමණය වන රෝගය වැළඳී ඇති අතර, බිළිඳුන් 6 දෙනෙකු Congenital Syphilis තත්ත්වයට ගොදුරුවී තිබෙනවා. ඒ අනුව 2024 වසරේදී බිළිඳුන් දෙදෙනෙකුද, 2025 වසරේදී තිදෙනෙකුද, 2026 වසරේදී එක් බිළිඳෙකුද මියගොස් ඇති බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් Brisbane හි බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Candice Holland සඳහන් කළේ, ගැබ්ගෙල සමයේදී සිදුකරන සරල රුධිර පරීක්ෂණයක් මගින් මෙම තත්ත්වය කලින් හඳුනාගෙන වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි. ගැබිණි සමයේදී අවම වශයෙන් තෙවරක්වත් මෙම පරීක්ෂණය සිදුකිරීමට නිර්දේශ කෙරෙනවා. රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නොලැබුණහොත්, උපදින දරුවන්ට අන්ධභාවය, බිහිරිභාවය සහ වර්ධන ප්‍රමාදයන් වැනි ජීවිත කාලය පුරා පවතින සංකූලතා ඇතිවිය හැකියි.

2026 වසරේ මේ දක්වා Queensland ප්‍රදේශයෙන් Syphilis ආසාදිතයින් 1,126 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය පසුගිය වසර 5 සාමාන්‍යයට වඩා  20% ක අගයකින් ඉහළ යාමක්. විශේෂයෙන් First Nations සමාජය තුළ රෝගය පිළිබඳ පවතින ලැජ්ජාව සහ අවම පහසුකම් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීම අඩුවී ඇති බවයි වාර්තා වන්නේ. penicillin වැනි ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා පහසුවෙන් නිරෝගී කළ හැකි මෙම රෝගය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණ සහ දැනුවත්භාවය ඉහළ නැංවීමට Queensland සෞඛ්‍ය අංශ මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.