Tasmania හි Launceston හි බටහිරින් පිහිටි Elizabeth Town ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

සිකුරාදා පස්වරු 2.00 ට පමණ Bass Highway හි, Gannons Hill මංසන්ධිය ආසන්නයේදී Chery වර්ගයේ මෝටර් රථයක් සහ ට්‍රේලරයක් ඇදගෙන ගිය Isuzu D-MAX වර්ගයේ රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් Chery රථයේ සිටි කාන්තාවන් දෙදෙනා සහ අනෙක් රථයේ සිටි පිරිමි පුද්ගලයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා. Isuzu D-MAX රථයේ සිටි අනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනා දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු ගුවන් මගින් Royal Hobart Hospital වෙතත් අනෙක් තැනැත්තා Launceston General Hospital වෙතත් යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර හේතුවෙන් පැය කිහිපයක් වසා දමා තිබූ Bass Highway මාර්ගය මේ වන විට නැවත විවෘත කර තිබෙනවා.