South Australia හි සිට Tasmania හි පවුලේ ඥාතීන් හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක් අතුරුදහන් වීමත් සමඟ Tasmania පොලීසිය මගින් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ 81 හැවිරිදි Clementina සහ ඇගේ 79 හැවිරිදි සහකරු වන Peter නමැති යුවලයි. ඊයේ පස්වරු 2:30 ට පමණ Burnie වල සිට 44km ක් බටහිරින් පිහිටි Milabena ප්‍රදේශයේදී මොවුන් අවසන් වරට දැක තිබෙනවා.
මොවුන් S744ACB ලියාපදිංචි අංකය දරන රිදී පැහැති Honda CR-V වර්ගයේ මෝටර් රථයකින් ගමන් කර ඇති අතර, Penguin, Gawler සහ Gunns Plains යන ප්‍රදේශයන් වෙත යන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. ඊයේ රාත්‍රියේ නැවත නිවසට නොපැමිණීම සහ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පවුලේ පිරිස විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පොලිස් හෙලිකොප්ටර් යානා යොදාගනිමින් සිදුකරන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව සඳහන්. මොවුන් පිළිබඳව හෝ අදාළ රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 131 444 අංකය ඔස්සේ Tasmania Police වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.



